Tuesday, June 30, 2020

දූවිලි ඇලි කුමරියන් සොයා..

කාලෙකින් කොහේවත් යන්නවත් නැතුව එපා වෙලා  වගේ හිටපු දවසක තමා අපේ ඩිලන් අදහසක් අරන් ආවේ නකල්ස් දූවිලි ඇලි බලන්න යන්ද කියලා.. යන්නේ කවුද  යන්නේ කවද්ද කියලාවත් අහන්නේ නැතුව එක පයින්ම  මම හා කිව්වේ මටත් කොහේ හරි යන්නම ඕනේ කියලා හිතිලා  තිබ්බ හින්දා.. කොහොමහරි ගමන යන්න  මායි ඩිලනුයි වර්ණකයි සෙට් වුනේ කැම්පස් එකට.

උදේ පාන්දරම කැම්පස් එකෙන් අපි පිටත් වුණේ මාතලෙන් උදේ 8.00 ට තියෙන ඉලුක්කුඹුර බස් එක අල්ලගන්න ඕනේ හින්දා..  මොකද අපිට ඒ බස් එක මිස් වුණොත් වැලේ වැල් නැතිවෙනවා.. එච්චරටම ඒ පාරේ බස්...

 අපි බස් එක ඇවිත් මාතලේ ස්ටේෂන් එක ගාව පාක් කරන්න කලින්ම එතනට ගිහින් හිටපු එක වෙලාව කියලා හිතුනේ  ඒ පාන් භාග සයිස් එකේ CTB  බස් එක පාක් කරලා විනාඩි 5ක් වත් යන්න කලින් සම්පූර්ණයෙන්ම  පිරිච්ච හින්දා.

මාතලේ ටවුන් එකෙන් පිටත් වෙච්චි බස් එක රත්තොට පාරේ ඇවිත් රත්තොට පහු කරලා ටික දුරක් ආවට පස්සේ පාර අයිනේ තියෙන කඩේක නවත්තන්නේ බස් එකේ මිනිස්සුන්ට  උණු උණු වඩේ එක්ක උණුම උණු තේකක් බොන්න.. මොකද ඊළගට තමා අමාරුම කාරිය තියෙන්නේ.. බස් එකට බස් ඩ්‍රයිවර්ට හා බස් එකේ යන අපිට...

ගමන අතරමග බස් එක නවත්තන කඩේ 


තේ වතු අස්සෙන් හිමීට හිමීට අමාරුවෙන් කන්ද නැගලා  රිවස්ටර්න් කපොල්ලට ළගා වෙන එකයි ඊලග කාරිය... එදා සාමාන්‍ය විදිහට ඉර අව්ව හොදට වැටිලා තිබ්බ නිසා ඒ කපොල්ලට ලගා වෙච්චි ගමන් ඈත් නිම්නය කදු හෙල් තැනිතලා මැද්දෙන් ඈතට පේන දර්ශනය මීදුම් තිරයෙන් වැහිලා තිබ්බෙ නෑ.. රිවර්ස්ටර්න් කපොල්ලට පස්සේ බස් එක පල්ලම් බහින්න ගන්නවා.. ඒ පිටවෙල පතන මැද්දෙන්.. ඈතට විහිදිච්ච තණ පිටිය මැද්දෙන් දගර ගැහි ගැහි ඇදෙන අලු පාට තාර පාරේ රතු පාට භාග CTB  බස් එක යනකොට  ඇත්තටම මැවෙන්නේ හරි අපූරූ ලස්සනක්.. 

ඇටන්වල ගමේ සුන්දරත්වය 

බස් එක ඇටන්වල ගමට හැරෙන පාර ගාවට එද්දි උදේ 11 ට ළගයි.. අපේ ගමනේ නඩේ ගුරා වෙච්චි ඩිලන්ව ඉස්සර කරගෙන අපි ගමන් පටන් ගත්තේ ඇටන්වල ගමට හැරෙන හන්දියේ ඉදන්.. ටික දුරක් පාරේ ආපු අපිට ඇහුනේ වතුර ගලාගෙන යන හඩ.. වැද්දාපැනි ඇල්ල හදාගෙන සුන්දර දුම්බර කදු පෙතේ ඉදන් අඹන් ගග වෙනකම් පල්ලෙහාට බහින තෙල්ගමු ඔය අපේ ඇස් ඉස්සරහට මතුවුණේ ඇටන්වල ගමට එලඹෙන්න කලින්ම..

වැද්දාපැණි ඇල්ලට පෙර තෙල්ගමු ඔය 

 එක පැත්තක දැවැන්ත ප්‍රාකාරයක් වගේ නැගී හිටින මානිගල පර්වතය පාමුල පිහිටලා තියෙන ඇටන්වල ගම අපේ සුන්දර ගමනාන්තය කරා යන ගමනේ අපිට අන්තිමටම හම්බෙන  ජනාවාසය. කෙත්වතු වලින් සාර වුණ ගම හා ගම මැද ඇති පන්සලේ දාගැබ අපිට අපි පුංචි කාලේ කතන්දර පොත් වල දැක්ක සුන්දර ගමක මතකය අලුත් කරා.

මානිගල හා ඇටන්වල 
කොහොම හරි නමෝ විත්තියෙන් අපි ගම පහු කරගෙන ඇවිත් මානිගල කන්ද තරණයට තියෙන මංපෙතට ඇතුල් වුණා. සංචාරක ආකර්ශණයක් විදිහට මානිගල තරණය වැඩි දියුණු කරන්න කරපු උත්සහයක් නිසා හොද මට්ටමට මං පෙත දියුණු කරලා තිබුණා. මානිගල පාරේ ටික දුරක් ආපු අපිට මානිගල මංපෙතෙන් සමුගන්න වුණේ අපේ ගමනාන්තය මානිගල නොවන නිසා.. අපි දකුණට හැරෙන්න තිබුන පාරෙන් ගම්න වෙනස් කරා. වියලිලා ගිය පරිසරයක් මැද්දෙන් වුනු අඩිපාර එක එල්ලේ වැටිලා තිබුණේ වල්පොලමුල්ල කියන ලංකාවේ කුඩාම ගම්මානය විදිහටත් සලකන ඒත් අද වෙනකොට ජනශුන්‍ය වෙලා තියෙන ගමට.


වල්පොලමුල්ල වැව / පතන 
ගමට අවතීර්ණ වෙන්න කලින්ම   අපිට හම්බෙන්නේ වල්පොලමුල්ල  වැව.. මෙතන කාලෙකට පතනක් විදිහටත් දකින්න පුලුවන්.. කදු වලලු වලින් වටවුණු මෙමෙ සුන්දර බිම්කඩ ඇත්තෙන්ම මද වෙලාවක් නැවතී සිටිය යුතුම ස්ථානයක්.මෙම ගම 
වල්පොලමුල්ලේ එකම ගෙය 
ජනශුන්‍ය වෙලා තියෙන්නේ දැවැන්තයන්ගේ කරදරයි ගමට ළගාවීමට ඇති දුශ්කරතායි හින්දා.


මේ වල්පොලමුල්ල  ගමේ ඉතුරුවෙලා තිබෙන එකම නිවස  සංචාරකයින්ට නවාතැන් ගත හැකි තැනක් විදිහට සුරැකී තියෙනවා. අපි වල්පොලමුල්ල ගමෙන් ආයෙත් ගමන ආරම්භ කරා. මුලින්ම හම්බුනේ ගමේ අතෑරලා දාපු ලියදි ටික.. එතනට ඈත අනන්තය සිසාරා විහිදුනු දුම්බර නකල්ස් වනපෙතේ කදු රාශියක් දකින්න පුලුවන්.. එතනට ඈත අනන්තයේ ගලාහැලෙන සුදු පැහැ ජල ධාරාවන්ද දකින්න පුලුවන්. එයින් සමුගෙන අපේ ගමන් මගට අවතීර්ණ වූ විට අපගේ ඊළග විවේක ස්ථානය උනේ.. නුගතලාව දොළයි.. ඒ දවස වන විට තැන් තැන් වල පමණක් දිය කඩිති ඉතුරුව තිබූ නුගතලාව දොලෙන් සමුගත් අපි අපේ ගමනාන්තය සොයා ආයත් ගමන පටන් ගත්තා.

කලුපහන ඇතුලු කදු පන්තිය; සිරස් මධ්‍ය රේඛාව ඔස්සේ ඈත දූවිලි ඇල්ල පෙනේ 


 වැඩිපුර කදුනැගීම් රහිත වූ තැනිතලා කොටසක් හරහා පැමිණි අපිට හදිසියේම වාගේ හමුවූයේ දළ බෑවුමක්. ඒ බෑවුම අවසානයේ අපි වැද්දාහේන කියන මං සලකුණට ඇවිත් තිබුනා. අපි පහුකරන් ආපූ  අනිත් වතුර  පාරවල් වගේ නැතුව  වැද්දාහේන තලාවේ මායිමෙන් ගලාගිය වැද්දාහේන ඔය පිරිසිදු නොකිලිටි සිසිල් ජලයෙන්  ස්වයංපෝශිතව ගලාගෙන ගියේ.  අපි මුලින්ම කරපු දේ තමා වතුරට පැනලා හොදට නාගත්ත එක.. හිතුවට වඩා වැඩි වෙලාවක් එතන ගත කරන්න උනා අපේ එක්කෙනෙක්ට චුට්ටක් යන්න අමාරු වෙච්චි හින්දා. එතනින් පස්සේ වැඩි කන්දක් නැතුව අපි දිගටම තැනිතලාව වගේ පිහිටපු කදු ගැට දිගේ අපේ ගමන ගියා. අතර මගදී නයි හාමි කෙනෙක් විතරක් අපේ පාලුව මකන්න වගේ පොඩ්ඩක් පෙනේ පුප්පලා අතුරුදහන් වුණා..

වැද්දාහේන ඔය 
ටික දුරකදි අපිට  ඇහුනු දිය ඇල්ලක සද්දෙත් එක්ක අපි ඒ හඩට අවදානේ යොමු කරන් ඒ සද්දේ ඉලක්ක කරගෙන අපේ ගමන් ඉක්මන් කරා.. අපේ ඇස් ඇත්ත්ටම පින් කරලා තිබුනා ඒ දිය ඇල්ල දකින්න.. වටේ තුන් පැත්තකින්  අංශක 90 ට පිහිටපු  ගල්බිත්ති  වලින්  වටවුණු ජල තටාකයකට ගලා හැලෙන දුම්බර ඇල්ල අපේ ඇස් ඉස්සරහ දිස් වුණා. අපි ටික වෙලාවක් දිය ඇල්ල රස විදලා එතනින් සමුගන්න හැදුවේ අපේ ගමනාන්තයට තව යන්න ඕනේ හින්දා.. ඒක හින්දා අපි දූවිලි ඇල්ලට යන පාර වටේ පිටේ ඇවිදලා හෙව්වත් අපිට ඒ පාර හොයාගන්න පුලුවන් උනේ නෑ.. ඒ වෙද්දි කලුවරත් යන්තමට වැටීගෙන එමින් තිබුන හින්දා අපි තීරණය කරා දුම්බරිය ඉස්සරහම් අපේ ටෙන්ට් එක ගහන්න.

දුම්බර ඇල්ල ඈතින් 
එතන හුළං කපොල්ලක් ඒ වගේම එදා හොදටම හුළග තිබුන දවසක්..  ටෙන්ට් එක දිය ඇල්ල ඉස්සරහම තිබුන ගල් තලේඋඩ ගහන්න හදද්දි වෙන හුලගින් මුවා වෙන තැනක ගහමු කියලා මම කිව්වත් අනිත් දෙන්නගෙම කැමැත්තට ඉඩ දීලා ටෙන්ට් එක ඒ ගල උඩ ගහන්න හැදුවත් ටික වෙලාවකට පස්සේ ආපු හුළගින් අමාරුවෙන් ටෙන්ට් එක බේරගත්තට පස්සේ අනිත් දෙන්නත් මගේ යෝජනාවට එකග වුණා.. 

දුම්බර ඇල්ල 




අපි කලු ගං දෑලේම දිය ඇල්ල පේන මානේ ගලකට මුවා වුණ තැනක ටෙන්ට් එක ගහගෙන නින්දට ගියේ මෙච්චර මේ ඝන කැලෑවක් මැද්දේ අපි තුන්දෙනා විතරයි නේද කියන හැගීමත් එක්ක.. ඒත් එක්කම හෙටත් ගමනේ ඉතුරු ටික ගිහින් ආපහු එන්නත් තියෙනවා නේද කියලා හිත හිත.




මතු සම්බන්ධයි ...


















Friday, October 18, 2019

මහනුවර "ඉර සේවය"

"" හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න ...
මා නොදකින ඒ පුන්සඳ ඔබට හැකිය දකින්න .. ""

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ ඒ ගීතේ ඇතුලේ හන්තානට පායන හඳ විශේෂ කරලා පෙන්නන හින්දා  පේරාදෙණියේ දවස් කිහිපයක් නැවතිලා ඉන්න මනුස්සයගේ පටන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය ටවුන් එකේ, ඊරියගම, ගන්නෝරුව , මීවතුර , කුරුදුවත්තේ ,ගෙලිඔය ,පැනිදෙණිය ඔය ඕනෙම පැත්තක ඉන්න කෙනෙක්ට  හන්තාන උඩින් පායගෙන එන සදවතිය දැක්කම අමුතු රොමාන්තික හැගීමක් එනවා..
ඒත් ඔය එකී මෙකී නොකී හැම කෙනාටම  අමතක වෙන අහුවෙන්නේ නැති දේ තමා හන්තානට පායන ලා හිරු රැල්ලේ ලස්සන.  ඔය ලස්සන විදින්න ගිය අපේ නඩේ කතාව තමා මේ..

කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් අන්තිම විභාගේ මැද හරියේ යනකොට අපේ කට්ටිය කසු කුසු ගාන්න ගත්තා කොහෙ හරි යමන් කියලා.. ඒත් එකෙක්ටවත් යන්න ඕනෙ කොහෙද කියලා හරි අදහසක් තිබ්බේ නෑ... ඔන්න ඔය අස්සේ අපේ කාගෙන් හරි අදහසක් ආවෙ අඩෝ රෑ හන්තානේ නගිමුද කියලා ..  සමහරු මුලින් පස්ස ගැහුවත් අන්තිමට විභාගේ ඉවර වෙන්න දවසකට කලින් වෙද්දි කට්ටියම ගමනට යන්න පේවෙලා ඉවරයි..

විභාගේ අන්තිම දවසේ ඉවර වුණ ගමන් මායි වරුණයි නුවර ගියා .. ගෙනියන්න ඕනෙ බඩු ටිකකුත් අරගෙන මාළිගාවටත් භාරයක් වෙලයි ආවෙ.. මොනවා වුණත් ටිකක් අමාරු ගමනක්නේ..

වරුණ (මද්දු), ඔසඳ (ගැටයා), චම්පික ( වාසු), ප්‍රභාශ්වර ( මොත්තෙ), ඩිලාන් (නින්ජා) මුලින්ම පෙරගමන් ඇරඹුවා.. ඊට පස්සේ මායි , කවිදුයි (ලෑටි), රන්දිකයි (සියාතු), සුමුදුයි (කැටයා) පිටත් වුණා .. අන්තිමට  මදුවන්තයි (කොට්ටා), කෙමින්ද  (ඔසාමා), කුශාන් (රිටා) සහ වර්ණක (ගිකු) අවසානයටම ගමන් ඇරඹුවා..


මඤ්දඤොක්කා දන්සල
එදා දවස ගැන කතා කරනවා නම්.. ඇත්තටම එදා හන්තානට උඩින් හද බැබලි බැබලි තියෙන්න ඕනේ දවසක්.. ඒත් අපේ  වෙලවටම වගේ තමා  අහස සම්පූර්ණයෙන්ම කලු කරලා පොඩි වැස්සක් වහින්න ගත්තේ.. කමක් නෑ ඉස්සරහට ගිය එක ආයේ පස්සට හැරෙන්නේ නෑ කියලා හිතාගෙන අපි  විජේවර්ධන එක ඉස්සරහින් AHS  එක් පැත්තට හැරුණා. අපි කොහොමත් මුල ඉදලම හිතාගෙන හිටියේ අමායා හොටෙල් එක පැත්තෙන් ගිහින් නගිනවා කියලා .. මොකද ඒ පැත්තෙන් ගියොත් පාර වරදින්න තියෙන්නෙ ඉතාම කුඩා සම්භාවිතාවක් නිසා. කොහොමහරි අපි AHS  එක ගාවින් අමායා හොටෙල් එක පැත්තට ගමන පටන් ගත්තා. මතක විදිහට එදා පොසොන් පොසොන් එකට පස්සේ දවස .. අපිට ත් හම්බුණා හොද මඤ්ඤොක්කා දන්සලකුයි කෝපි දන්සලකුයි ..


කෝපි 
ඒ මිනිස්සුන්ගේ තිබ්බ හොදම ගති ගුණේ තමා අපි යන්නේ කොහෙද කියලා දැනගත්තට පස්සෙත් අපිට් කිසිම බාල්දියක් දාපු නැති එක. මඤ්ඤොක්කා දන්සලෙන් පාර්සලුත් බැදලා දුන්නා මගදි  කන්න කියලා. 


" පරිස්සමට යන්න මේ දවස් වල කොටියෙක් ඉන්නවා "  කියලා  එක මනුස්සයෙක් කිව්වම හිත් චුට්ටක් හෙල්ලිලා ගියත් අපි අපේ ගමන නවත්තන්න හිතුවෙ නෑ..
අපේ තනි නොතනියටද මන්දා මේ පේරදෙණියට ආවේණික පොද වැස්ස අපිත් එක්ක දිගටම දිගටම හිටියා අමාය හොටෙල් එක හරියට එනකල්ම. අමායා එක ගාවින් ගුරු පාරට හැරෙද්දි වැස්ස නැවතිලා පහළ නුවර අලුත් පාරේ යන වාහන වල එලියත් නුවර සානුව පුරා විහිදිච්ච ගෙවල් වල විදුලි පහන් එලියත් අමුතුම ලස්සනක්  එකතු කරා අපි හිටිය පරිසරයට.. කට්ටිය සැරට සීතල තියෙයි කියලා ඇදගෙන ආපූ ජර්සි එහෙම ගලවලා දැම්මේ වැස්ස නතර වීමත් එක්ක ඇග පුරා දහඩිය උනන්නට වීම නිසා. ඉදිරියෙන්ම ගිය වාසු පාර වැරදීමෙන් ගිය ගමන නතර කරේ සොහොන් කොතක් හම්බ වෙලා. ඒත් ඒ  සොහොන් කොත දැක්කට පස්සේ වාසුටත් වඩා බය වෙලා හිටියේ වෙන එකෙක් ..   අපේ අයට මතක ඇති  ඒ කවුද කියලා...


ගුරු පාර අවසන් වී අපි කැලෑ රොදට ඇතුල් වන විටම වාගේ ආයෙත් පොද වැස්ස වසින්නට වූ නිසා අපිට පෙරට වඩා කරදර වලට මූන පාන්නට සිදු වුනේ අපේ රුධිරයේ උණුසුම දැනී හතර අතින් ක්‍රියාත්මක වූ කූඩැලි මිත්‍රයන් නිසාය. එයිනුත් වැඩි වශයෙන් කූඩැලි මිත්‍රයන්ගෙන් සංග්‍රහ ලැබූ නින්ජා හන්තාන නැග්ග හැටි අපේ කට්ටියට තාමත් මතක ඇතැයි කියලා මම හිතනවා..


වර්ශාව නිසා යන මගේ මැටි පස ලිස්සනට වූවත්  හන්තානේ මුදුන මත පිහිටා ඇති සන්නිවේදන කුලුනු වල සිට මහනුවර නගරයට සන්නිවේදන සංවාහක කම්බි රැගෙන යන යකඩ බටයේ අත්වාරුවෙන්   අපි ඉදිරියට ගමන් කළෙමු. විටක අපෙන් එකෙක් දෙන්නෙක් යන විට බිම බඩගාන්නට වූවත් දළදා සමිදු පිහිටෙන් හා ආරක්ෂාවෙන් කිසිදු උපද්‍යවයක් නොමැතිව අපි පළමු සන්නිවේදන කුළුණ  අසලට පැමිණියෙමු.


වෙලාව රාත්‍රී 11 ය. වර්ශාව මදක් තුරල් වී  මද වැස්සක් බවට පෙරලී තිබිනි. ජංගම දුරකතන වලින් විදුලි පහන් දල්වාගෙන ගියත් එක්වර සිදුවන වර්ශාව හා සීතල නිසා ජංගම දුරකතනද එක්වර විසන්දි වීම සිදුවූයෙන් එතැන් පටන් ඉතාමත් ප්‍රවේශමෙන් ඉදිරියට අඩිය තැබිය යුතුය. මක් නිසාද යත් එතැන් පටන් අපි අනිවාර්‍යෙන්ම හන්තාන මුදුන මත අඩිපාර මතම පමණක් ගමන් කල යුතු හෙයිනි. අඩි පාරෙන් අඩියක් එහායින් හෝ අඩිය තැබුවහොත් එය ජීවිතයේ අවසාන අඩිය වීමට ඇති ඉඩකඩ බොහෝය.


උදෑසන පෙරවරු 1 වන විට අපි විවෘතව පැතිරුණු  ආනත ගල්තලාව මතට ( CP 2 )  මතට පැමිණියෙමු.. අපේ ගමනාන්තයට ළගාවුනෙමු. දැන් පැය තුනක් හෝ හතරක් අපේ අභිප්‍රාය ඉටු කරගන්නට බලා සිටිය යුතුය. ගල් තලාව මත නිසා අපේ කූඩැලි මිතුරන්ගෙන් අපි මද සහනයක් ලැබුවෙමු. සියලු දෙනාම වාගේ කූඩැල්ලන් ඉවත් කර සීතල අවම වන ලෙස සිය ඇගලුම් දාගනිද්දි  වැහි කබාය පමණක් සිය එකම ඇදුම කරගත් එකෙක්ද අපි අතර විය.


පොද වැස්සද සීතලද මීදුමද  හුළගද  කවිවලට ලස්සන වූවාට ඇත්තටම එයට එක වර මූන දෙන්නට වෙන කොට ඇත්තටම ඒවායේ බිහිසුනු බව අපිට දැනේ.. අපි එය හොදින්ම අත්වින්දෙමු.   අහලක පහලක ගසක සෙවනක් හෝ නැති නිසා ගල් තලාවේ තැන් තැන් වල ඇති ඉතා කුඩා පදුරු වලට මුවා වුන අපි කුඩ ඉහලාගෙන පරිසරයෙන් ඇති වන බාධා ගනන් නොගෙන එක එක ඒවා ගැන කියවන්නට ගත්තේ කා දැමීමට තවත් පැය දෙක තුනක් තිබූ නිසාය.

බොහෝ දෙනා සිරි පතුල වැද පුදා ගන්නට යන්නේ ඉර සේවය නැතහොත් මුල්ම හිරු කිරණ විදගන්නටද  බලාපොරොත්තුවද සමගිනි. පාන්දර 5 පමණ වන විට ඈත පෙරදිගින් තැඹිලි පැහැ හිරු කිරණ යාන්තමින් කදු අතරින් සිනාසෙන්නට වූවෙන් අපි සියලු දෙනා ගල් තලාවේ ඉහල මුදුනතට ආවේ ඒ හිරු එලියේ ආගමනය විදීමට රිසියෙනි.

මුල්ම ඉරු කිරණ 
 තැඹිලි පැහැ ගත් හිරු කිරණ පහළ ඈත තැනිතලාවට උඩින් වලාකුල් අතරින් සුන්දරතම දසුනක් විදහා පාන විට මෙය දැක ගැනීමට අප විදි දුක් කම් කටොලු මොහොතකට අමතක විය. වචනයෙන් කියා න්නිම කල නොහැකි සුන්දරත්වයක් මුලු පරිසරය පුරාම රැදී තිබිණි.


වලාකුලට උඩින් 

වලාකුලට උඩින් 

මුදුනතෙන් බටහිර දිසාවේ යන්තමින් එබී ගත් හිරු කිරණයෙන් ආලොකමත් වූ තැනිතලාවේ අලගල්ල අම්බුලුවාව ආදී කදු  පැහැදිලිව නෙත් කාච මත පතිත විණි.

ඉර එලියට දිලිසෙන හන්තාන කදු වැටිය 
බටහිරේ අලගල්ල, ඌරා කන්ද  පෙනේ 

තවත් මද වෙලාවක් සුන්දරත්වයේ ගැලී වුන් අපි පහළට ගමන් කර හන්තාන ආරාමය අසලින් පහළට ගමන් ඇරඹීමු. ගැමියෙකුගෙන් අසා ගත් කැලෑ බද මගකින් උඩ පේරාදෙණියට ගොස් සරසවි දොළන් දාහය නිවාගත් අපි දහවල් වන විට සරසවි නේවාසිකාගාරයට පැමිණියේ ජීවිතයේ අමතක නොවන මතකයක් හිත් හි රදවා ගනිමිනි.


කට්ටිය 
ඡායා රූප  -  ඔසද  සහ කෙමින්ද  

Monday, November 5, 2018

ඉබාගාතේ ගිය ගමනක්.

අපේ තුන්වෙනි අවුරුද්ද ඉවර වෙලා අපිට සතියක් විතර නිවාඩුවක් හම්බුනේ හරියට නිකම් කොහෙ හරි ගිහින් වරෙන් කියලා අපිට කියනවා වගේ.. ඉතින් අපිත් ඒ වගේ අවස්ථාවකින් උපරිම ප්‍රයොජන ගන්න ඕනේ හින්දා ඉක්මනටම සෙට් වෙලා තීරණයක් ගත්තා. හරි.. බයික් වලින් යන්.. අන්තිම තීරණේ.. එල . ඒත් කොහෙද යන්නේ.. ටෙන්ට් දෙකක් විතර සෙට් කරගත්තා නම් ඔය කොහෙ ගියත් කමක් නෑනේ.. ඔහොම තමා අපේ උන්. හරි ඔන්න ඔහොම කොහොමින් කොහොමින් හරි  වරුණයි ,කුශානුයි ,දුලාජුයි , අමිලයි, ඔසඳයි ,මමයි ,රන්දිකයි රන්දිකගේ අයියයි ගමනට සෙට් වුණා. රන්දිකයි රන්දිකගේ අයියයි කාර් එකෙන් ගමනට සෙට් වුණ එක අපිට ලොකු උදව්වක් වුණා කියලා අපිට ගමන පටන් ඇරන් ටික වෙලාවකින්ම තේරුණා.

කරවනැල්ලේදී
අපි ගමන පටන් ගත්තේ තැන් තැන් වලින්.. මමයි අමිලයි වේයන්ගොඩින් ගමන පටන්  ගත්තා. ඔසඳයි වරුණයි අවිස්සාවේල්ලට ආවේ දුලාජුයි කුශානුයි අවිස්සාවේල්ලට බස් එකේ එන හින්දා .කොහොම හරි අපි කරවනැල්ලට ඇවිත් ටික වෙලාවකින් අනිත් හතර දෙනාත් කරවනැල්ලට සෙට් වුණා. අපි හය දෙනා නමෝ විත්තියෙන් ගමන පටන් ගත්තා. අපේ පළවෙනි නැවතුම වෙලා තිබ්බේ අවිස්සාවේල්ල නුවර එළිය පාරේ ගිනිගත්හේන ටවුන් එක පහුවුනාම තියෙන නොර්වුඩ් කැරොලිනා පාර හැරෙන හන්දිය. මොකද එතනින් තමා රන්දිකයි රන්දිකගේ අයියයි සෙට් වෙන්නේ අපේ ගමනට.කරවනැල්ල පහුකරලා ටික දුරක් ගියාම වී ඔයේ පාලම  හරහා අපි යටියන්තොට නගරයට ආවා.. මේ හරියෙදි අපේ පාලුව තනිකම කාන්සිය නිවන්නේ  තරුණ කැළණි ගග.පාරත් ගගත් අතර තියෙන පටු ඉඩේ වුණත් එක දිගට පිහිටලා තියෙන ඩිංකි බෝට්ටූ කුලියට දෙන තැන් දැක්ක ගමන්  අපි දැන් කිතුල්ගලට ළංවෙලා බව දැනුනා. තරුණ ජවයෙන් ඇදෙන කැළණි නදියේ සුදු පාටට හැපිලා බිදෙන පෙන පිඩු අස්සෙන් බෝට්ටු වලින් ගග තරණය කරන එක අභියෝගාත්මක ක්‍රීඩාවක් විදිහට ලංකාවේ වැඩි වශයෙන් ප්‍රචලිත වුණේ ආසන්න කාලයේ වුණත් මේ තැනට ඇදී එන සංචාරක ඝනත්වය නම් ඉතාමත් වැඩියි.දුකට ඇති කාරණය වනුයේ කැළණි නදිය හරස් කර නිර්මාණය කරන්න පුලුවන් අන්තිම විශාල ජලාශය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ඉදිවෙන්නේ මේ ක්‍රීඩාවේ යෙදෙන ප්‍රදේශයට මදක් ඉහලින්.එම නිසා මේ ක්‍රීඩාවේ අනාගතය දැන් පවතින්නේ යම් අනතුරුදායක අඩියකයි.
 
තවත් ටික දුරක් ගිනිගත්හේන දෙසට එද්දී ඉස්සරහින් එන වාහන වල  සංඥා අනූව පොලීසියෙන් ඉස්සරහ සිටින බව අපි දැනන් සිටියෙන් පරිස්සමින් ගියද අපේ වරුණ කලේ හරියටම පොලීස් නිළධාරීන් සිටින තැනදීම වංගුවේදී අපිව ඉස්සර කිරීමයි. ඉන්පසු එම ස්ථානයෙන් විනාඩි 10 කින් පමණ ගැලවීමට හැකිවූයේ අපේ සියලු දේ පාවා දීමෙනුත් වරුණගේ උතුම් පරිත්‍යාගයකුත් නිසාය..

නෝටන් බ්‍රිජ් ජලාශය
ඉන්පසු කිසි උපද්‍රවයකින් තොරව කැරොලිනා හන්දියට ගිය අපිට රන්දිකලත් සෙට් වුණා. මේ පාර තමා කොළඹ ඉදන් ශ්‍රී පාදේ නගින්න එන අයට තියෙන ළගම පාර. මාරම ලස්සන පාරක් ටිකක් අබලන් තත්වයේ තිබුණත් වටේ පිටේ නෙත් ගැටෙන සුන්දර දර්ශන වලින් හිතේ මහන්සිය අමාරුව නැතිවෙනවා.දගර ගැසුණු පාර එක පැත්තකින් තියෙන බෑවුමේ නිම්නය දිගේ  ලක්ශපාන දිය ඇල්ලත් ඇබර්ඩීන් දිය ඇල්ලත් ජනනය කිරීමෙන් මහන්සි වුණු කැලණි ගගේ එක ප්‍රධාන අත්තක් වුණු කෙහෙල්ගමු ඔය ගලන් යනවා.පාර හරහා වැටුණු දිය පාරවල් නිමක් නැතුව අපේ පාලුව නිවනවා.
 නෝටන් බ්‍රිජ් වලදි අපිට නෝටන්බ්‍රිජ් ජලාශයේ බැම්ම දිගේ යන්න අවස්තාවක් හම්බෙනවා.


 ශ්‍රීපාද කදුවැටියේ පරිවාර කදු වැටියක් වුණු සප්ත කන්‍යා කදු කුමාරියන්ගේ දර්ශනය පාරේ යන එන අයගේ හිතේ මහන්සිය නිවන්නේ සොදුරු දසුනක් මවා පාමින්. නෝටන්බ්‍රිජ් ජලාශය අසල මං සන්ධියේ රදවලා තියෙන ගුවන් යානා රෝදය හැත්තෑව දශකයේ සිදු වෙච්චි සප්ත කන්‍යා ගුවන් අනතුරේ අදුරු මතකයේ ඉතුරු වී ඇති සංඛේතයකි. කෙහෙල් ගමු ඔයේ දියවර පිසන් එන සුළග මැද්දෙන් අපි කාසල්රී ජලාශයට සේන්දු වුණා. කාසල්රී ජලාශයට මුහුණලා තියෙන සුන්දරම භූමි භාගයක පිහිටලා තියෙන විදුලි බල මණ්ඩලයේ සංචාරක බංගලාව ගාව මදකට අපිට නවත්තන්න වුණේ අපේ රන්දිකගේ ඉතාම දැඩි අවශ්‍යතාවයක් නිසා.

කාසල්රී ජලාශය

ඉන්පසුව අපි ළගා වුනේ හැටන් සිට දික්ඔය හරහා බගවන්තලාව පාරට . සිරීපාද අඩවියේ සීමාවේ පිහිටලා තියෙන මේ ප්‍රදේශය තේ වගාවේ ඉහළම ව්‍යප්තියක් තියෙන පැත්තක්.අපිට ඒ වෙද්දී නම් කුසගින්නත් හොදටම දැනෙමින් තිබුනත් අහස පුරා එක්‍ රැස් වෙමින් තිබ්බ වැහි වලාකුලු පෙල අපිව දිරිමත් කරේ වැස්සට කලින් පුලුවන් දුරක් පලයන් කියනවා වගේ.අපි නෝවුඩ්  වලින් බගවන්තලාව පැත්තට හැරුණා.නෝවුඩ් වලදි කඩයකින් කමු කියලා හිතාගෙන ආවත් නෝවුඩ්  වල එහෙම කෑම කඩයක් හොයාගන්න අමාරු වුනා.
නෝවුඩ්
 ඉන්පස්සේ අපි බගවන්තලාව ඔය දෑලේ වැටිලා තිබුණු සුන්දර බගවන්තලාව හරහා බලන්ගොඩ වෙනකම් ඇදෙන මාර්ගයට අවතීර්ණ වුණත් සුලු දුරක් යනවිටම වර්ශාව ඇද හැලෙන්නට වුණා.
අපේ ගමනාන්තයට කලුවර වන්නට පෙර යා යුතු නිසාත් කුසගින්න ඒ වන විට ඉහිලිය නොහැකි තරම් වූ නිසාත් රන්දිකගේ කාරයේ අපේ ගමන්මලු නොතෙමා රැගෙන යා හැකි බැවිනුත් අපි යලිත් වැස්සේම ගමන් ඇරඹුවෙමු.අප  හිත් වලට  අස්වැසිල්ලක්  වූයේ කෙටි ගමනකින්ම හමුවූ ටයිසීන් කඩමණ්ඩියේදී  අපේ කුසගින්න නිවා ගැන්මට සුදුසු කඩයක් හමුවීම නිසාය. කඩයේ තිබූ ආහර  එකින් එක ඉවර කරගෙන ගිය අපි අන්තිමට නැවතුණෙ කඩේ තිබූ පාන් ගෙඩි දෙකකටද වගකීමෙන් අනතුරුවය. අපි අවසානයේදී තේ ඇනවුම් කරද්දී කඩේ මුදලාලිටද සැනසුම් සුසුමක් හෙලෙන්නට ඇත.හොදින් කුසවල් සන්තර්පණය කරගත් අපි නැවත වැස්සේම ගම්න් ඇරඹීමු. වර්ශාව හේතුවෙන් ජංගම දුරකතන ද ගමන්මලු වල දමා තිබුණෙන්  එම බගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශයේ සුන්දරත්වය හිතේ පමණක් සටහන් කරගැන්මට අපට සිදුවිය. ඇත්තෙන්ම බගවන්තලාව ප්‍රදේශය පාරාදීසයක් බදුය. මද වැස්ස මැද මතුවූ මීදුමත් අතරින් පතර මතු වුණු කදු සිරසුත් ඉතාමත් සාරවත්ව පැතිරී තිබුණු තේ වගාවත් එම සානුව හරහා ඇදී යන බගවන්තලා ඔයත් එකට එක්වූ කල මැවෙන අරුමය ඔබටද මෙය කියවන විට  දැනෙන්නට ඇති බව මට සිතේ.
"මල්ලී ගස් වැටිලා ඇති පාරේ  පරිස්සමට යන්න .." බගවන්තලාව කඩමණ්ඩියේදී බලංගොඩ පාර ගැන අපි බස් රථ රියදුරෙකුගෙන් ඇසූ විට උපදෙසක්ද සමගින් හේ අපිට මග කියා දුන්නේය. ශ්‍රීපාද රක්ෂිතයේ නැගෙනහිර සීමාවත් මහ එළිය තැන්නේ (හෝර්ටන් තැන්නේ) බටහිර සීමාවත් හරහා වැටී ඇති බලංගොඩ  මග නොඉදුල් අලංකාරය පිරි  පරිසරයක් හරහා ගමන් කිරීමේ අත්දැකීම ලබනට සුදුසුම මාර්ගයකි. බගවන්තලාවෙන් පිටවී තේ වතු සීමාව පසු කල විට අපි වනයේ හුදෙකලා වූවෙමු. එතැන් පටන් මද දුරකදී වර්ශාව තුරල් වූවද ඒ වන විට අපි සියල්ලෝම තෙතබරිත වී හමාරය.
අදුර විසින් පරිසරය ගිල ගෙන හෙයින් ටෙන්ට් කරන්නට තැනක් හොයා ගැනීම අපහසු කටයුත්තකි. අපි සිතාගෙන ආ තැනටද අපිට ළගා වීමට අමාරුය..  දැන් මොකක්ද  කරන්නේ..   සියලු දෙනාම ගැටලුවකට මැදි වූවෙමු.
බගවන්තලාව - බලංගොඩ පාර
කදු බෑවුමේ එහා පසට වන් විට ටර්පන්ටයින් කැලය අවසන් වූ වහාම අපිට හමුවූයේ නැරඹුම් ස්ථානයකි. මද වෙලාවක් සබරගමුවේ පහළ නිම්නයේ සුන්දරත්වය විඳි අපි ගමන් අරඹන විට රොශාන් අයියා ගූගල්ගේ උදව්වෙන් කෙටි මගක් සොයා ගෙන තිබුණෙන් අපි ඒ මගට පිලිපන්නෙමු. හොදින් තාර දමා තිබූ එම මාර්ගය එකිනෙක බැදී වියන් සේ සෑදී තිබුණු තුරුවියන් මැද්දෙන් ටර්පන්ටයින් කැලෑ මැද්දෙන් අපිව වෙනත් ලෝකයකට ගෙන ගියා වැනිය.
වැස්සට පස්සේ
 එයද සුන්දරත්වයෙන් අපි ඉන් පෙර පැමිණි මාර්ගයන්ට නොදෙවෙනිය. අපිට වම් පසින් නැගී හිටියේ හාවා ගලය දකුණෙන් වංගෙඩිගලය. අපි අදුර වැටෙමින් තිබූ මොහොතක බෙලිහුල් ඔය තානායම අසලින් A4 ප්‍රධාන මාර්ගයට ඇතුල් වූවෙමු.

මතුවට...

Friday, September 7, 2018

බලන කපොල්ලේ රැකවල්කරු - අලගල්ල

පෙරුම් පුරාගෙන ඉදලා ඉදලා කාලෙකට පස්සේ කට්ටිය කොහේ හරි යන් කියලා කතා වුණේ.. ඔය අස්සේ තමා කවුරුහරි අදහසක් දැම්මේ අලගල්ලේ යන් කියලා.. මධුවන්තගේ ගානේ ටෙන්ට් එක හම්බෙනවා කිව්ව හින්දා අපිත් කට්ටිය 6 ක් විතර ගමනට සෙට් වෙලා හිටියේ.. exam  එක ඉවර වුණ ගමන් සිකුරාදා හවස අපි පිටත් වෙමු කියලා හිතාගෙන හිටියත්.. අපේ මධුවන්තගේ ටෙන්ට් එක එද්දී හවස 2 ත් පහු වෙලා..
කලින් දෙපාරක් අලගල්ල නැගලා තිබ්බත් මේ පාර  අපි තෝරගත්තේ පොත්තපිටියට ගිහින් යන පාර.. කලින් දෙසැරේම මන් ගිහින් තිබ්බේ ඉහළ කෝට්ටේ හරහා කෝච්චියේ ඇවිත් .. කොහොමහරි අපි  ඒ කිව්වේ මධුවන්තයි, ඉසුරුයි , දුලාජුයි , සුමුදුයි , ඔසඳයි ,මායි ටෙන්ට් එක හම්බුන ගමන්ම ඇවිත් පේරාදෙණියෙන් පොත්තපිටිය බස් එකක නැග්ගා..
පොත්තපිටියට බස් එකේ එනවානම් ක්‍රම දෙකක් තියෙනවා එකක් පිළිමතලාව හරහා අනික කඩුගන්නාව හරහා තව රඹුක්කනින් හරි ගලගෙදර පැත්තෙන් එනවා නම් හතරලියද්දට ඇවිත් පොත්තපිටියට එන්නත් පුලුවන්..
පොත්තපිටිය කියන්නේ හුදකලා පොඩි නගරයක් හැබැයි හැමදෙයකම වගේ ගන්න කඩ තියෙනවා . මොකද අහල පහල ගොඩක් දුරකට යනකම් ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන ලොකුම ටවුම තමා පොත්තපිටිය.පොත්තපිටියෙන් අපි අපිට ඕනෙ කරන හැම දේම ගත්තා.. ආයේ විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමා අලගල්ල උඩට ගියාට පස්සේ වතුර හොයාගන්න තැනක් ඇත්තෙම නෑ. අපි රෑට කෑම හදන්න බඩු , ගින්දර පත්තු කරගන්න ඕනේ කරන කලමනා ඔක්කොම පොත්තපිටියෙන් ඇරන් අලගල්ලට කියලා දන්වලා තියෙන පාර දිගේ යන්න ගත්තා.. ඒ පාරේ ගමන පටන් ගද්දිම අපිට අලගල්ල කන්ද විරාජමානව පේන්න ගත්තා.
යන අතරමග
අලගල්ල කන්ද කියන්නේ සබරගමුවත් මධ්‍යමත් පළාත් දෙකටම මැදිව කෑගල්ල මහනුවර දිස්ත්‍රික්ක මායිමේ තියෙන මීටර් 1140 ක් උස කදුවැටියක්.. මා ඔයට ජල පෝශක ප්‍රදේශයක් විදිහටත් ඉස්සර ඉදන්ම කොළඹ පැත්තෙන් නුවරට එන කට්ටියට බාධා කරන ස්වාභාවික බාධකයක් විදිහටත් අලගල්ල කදුවැටිය ක්‍රියා කරනවා. ප්‍රසිද්ධ බලන කොටුව තියෙන්නෙත් මේ කදුවැටියෙම එක කොනක අනිත් කොනේ තමා පූජාගල පිහිටලා තියෙන්නේ.. මේ වෙද්දී පූජාගල මුදුනේ කුඩා දාගැබක් ඉදිවෙමින් පවතිනවා. කවදාහරි කෝච්චියේ  කොළඹ ඉදන් නුවරට ගිහින් තියෙනවා නම් අනිවර්‍ර්‍යෙන්ම  අලගල්ල පාමුලින් ගිහින් තියෙනවා. මොකද කඩිගමුව පහුවුණාට පස්සේ ඉදන් කඩුගන්නාවට යනකම් කෝච්චිය යන්නේ අලගල්ල කදුවැටිය දිගේ . 


අපිට මුලින්ම හම්බෙන්නේ අලගල්ල තේ කර්මාන්තශාලාව. අලගල්ල කන්දට නගින තැනටම වෙනකම් පැතිරිලා තියෙන්නේ අලගල්ල තේ වත්ත. අපි  කිලෝමීටර් 3 ක් විතර ගිහින් කන්ද නගින්න පටන් ගන්න තැනට ආවා. අනිත් කදු වගේ නෙමේ මේකේ විශේෂත්වය තමා නගින්න තියෙන්න තරමක දල බෑවුමක් දිගේ. ඒක ටිකක් වෙහෙසකරයි. අපි ටික දුරක් නගිද්දි තමා  අපේ සුමුදුට වැඩේ ඇති වුණේ.. කාලෙකින් මහන්සි නොවුණ හින්දා  පොරට හෙනටම අමාරු වුණා. කීප වතාවක්ම මන් ආපහු යන්නම් කියලත් කිව්වා.. 😂😂   ඒත් අපි කොහොමහරි මනුස්සයව මොරාල් කරගෙන උඩට ගෙනාවා. කොහොමින් කොහොමින් හරි අපි උඩට එද්දි කරුවල වැටිලා පල්ලෙහා සබරගමු මිටියාවතේ තැන් තැන් වල පත්තු වුණ එළි විතරක් ලස්සනට පෙණුනා.

අලගල්ල උඩ සාමාන්‍යය කන්දකට වඩා වෙනස් ගොඩක්ම තියෙන්නේ විවෘත ප්‍රදේශය. ඒකෙ ඉලුක් මානා පැගිරි ගස් වලින් වැහිලා තිබුණේ . කොරේ පිටට මරේ කිව්වා වගේ උඩට ගිය ගමන් මාර මීදුමකුත් ආවා අපිට කිසි දෙයක් පේන්නෙ නැති වෙන්නම. වෙලාවට මන් කලින් ගිහින් තිබ්බ හින්ද උඩ ගැන යම් තරමක් දැනුමක් මට තිබ්බා. මොකද අලගල්ල කන්ද දිගේ යනවනම් යන්න තියෙන පාර තියෙන්නේ  කන්දේ මොහොර බෑවුමට ගොඩක් ලගින්..  අපි  ටෝච් ගහගෙන ඒ බෑවුම ආසන්නයේ තියෙන අඩිපාර දිගේ ඉස්සරහට ගියේ ටෙන්ට් එක ගහගන්න තැනක් හොයගන්න..  හොදට  හුළං මූනතක් විදිහට ගස් වැවුනු  පොඩි විවෘත තැනක අපි ටෙන්‍ට් එක ගහන්න ගත්තත්  කූඩැල්ලෝ අපිට හෙනම වදයක් දුන්නේ.. අපි ලුණු චුට්ටක් එහෙම පාවිච්චි කරලා ටෙන්ට් එක ගැහුවා..



ඊට පස්සේ අභියෝගේ  වුනේ ගින්දර පත්තු කරගන්න එක.  ඔසද හෙනම මහන්සියක් වෙලා ගිනිමැලේ ගැහුව හින්දා රෑට කන්න නූඩ්ල්ස් හදාගන්නත් අපිට අමාරු වුණේ නෑ..

අමාරුවෙන් ගහගත්ත ගිනිමැලේ

රෑ කෑම නූඩ්ල්ස්




















ඊළග දවසේ උදේ පාන්දරම අපි ටෙන්ට් එකෙන් එලියට ඇවිත් බලනකොට දැක්කේ  වෙනම ලෝකයක්.. එලියේ තිබ්බ ගස් වැල් ඔක්කොම මීදුමෙන් වැහිලා ගිහින්.. පිනි වැටිලා ඒ ගස්වල අතු අග කොල දිලිසෙනවා.. ඒ අතරින් හිමි හිමින් ඉර එලියත් ගස් අතරින් වැටෙනවා..

ටෙන්ට් එක  ගහපු තැන
අලගල්ල මුදුන් ගල
  අපි මේ දැන් ඉන්නේ.. කන්දක් උඩ නේද කියලා හිතෙද්දිත් හිතට  ඒක ආශ්වාදයක්..  හැම තැනම සීතල පිරිලා.
අපි ටික වෙලාවක් ඒ සුන්දරත්වේ විඳලා බඩු ටිකත් පැක් කරගෙන අහල පහලත් හොදට සුද්ද කරලා අපේ ගමන පටන් ගත්තා ආයේ.  ලංකාවේ දැන් වෙද්දී කදු නගින්න යන ප්‍රමාණය ඉතාමත් ඉහළයි. මොකද මේ වෙද්දී ඒක trend  එකක් වෙලා තියෙන්නේ..  කන්දක් නගින ගිහින් ටෙන්ට් එකක රැයක් ගත කරලා එනවා වගේම තමා අපේ පරිසරයට ආදරය කරන්න පරිසරය රැක ගන්න ඉගෙන ගන්න ඕන කියලත් අපිට දැනෙන්න ඕනේ.

පූජාගලට යන ගමන්
අපේ දැන් ගමනාන්තය අලගල්ල කන්ද දිගේ ගිහින් පූජාගලට ගිහින් එතනින් පහළට බහින්න ගංගොඩ ස්ටේශන් එක  ගාවට. උදේ පාන්දරම ගමන පටන් ගත්ත හින්දා හැම තැනම පිනි වලින් තෙමිලා තිබ්බේ.. හැම තැනම තෙතමනය තියෙනවා කියන්නේ කූඩැල්ලොත් ඒ තැන්වල ඇති වෙන්න ඉන්නවා කියන එක . අපි ලුණු මිශ්‍රණයකුත් හදාගෙන පුලුවන් තරම් වේගෙන් ඇවිදගෙන ගියේ කූඩැල්ලොන්ට ලේ දන් දෙන්න හිතේ කිසිම ආසවක් තිබ්බේ නැති නිසා. 

පූජාගල උඩ දාගැබ


පූජාගල උඩ සිරිපතුල
අපි ටික වෙලාවකින් පූජාගල ගාවට ආවා. එතන අලුතින් පන්සලක් හදන්න පටන් ඇරන් තියෙන හින්දා වතුර සැපයුමක් එතනට තියෙනවා. එතනට අංශක 360 ක දර්ශනයක් පේනවා මාරම ලස්සනට. ඈතින් කෙලින්ම රඹුක්කන නගරයත් දකුණු බෑවුම පැත්තෙන් හතරලියද්ද නගරයත් මාර ලස්සනට පේනවා.
සබරගමුවේ සුන්දරත්වය

සබරගමුවේ සුන්දරත්වය

 අපි ටික වෙලාවක් එතන ඉදලා පල්ලෙහාට බහින්න ගත්තා.. මේ විහාර කර්මාන්තේ  හින්දා පල්ලෙහා ගමේ කට්ටිය එකතු වෙලා පඩි පෙලක් නිර්මාණය කරල තියෙනවා. ඇත්තටම ලොකු වැඩක් ගොඩක් මහන්සි වෙලා.


නිදහස




 අපි  වැහි කලුවකුත් ඈත බතලේගල ඌරාකන්ද පැත්තෙන් මතුවී ගෙන ආපු හින්දා පය ඉක්මන් කරා. ගංගොඩ දුම්රිය ස්ථානය ගාවට  එද්දි දවල් වෙලා. අපිට කෝච්චිය අල්ලගන්න ඕනෙ උනත් ඊළගට තියෙන කෝච්චිය ගංගොඩ නවත්තන්නේ නැති හින්දා අපි ඒ ආපු ගැම්මෙන්ම ඉහළ කෝට්ටේ ස්ටේශන් එක වෙනකම් ආවා.
 එතනින්  ආපු කෝච්චියේ නැගලා අපි අපේ  අලගල්ල සංචාරේ ඉවර කරා.

Saturday, June 23, 2018

ගල්බොඩට යන්නේ කොහොමද ??

ට්‍රිප් යන එක ගැන  දැන් කතා කරද්දි ඒක දැන් කරන්න බැරි වැඩක් වගේ පෙනුනට ඉස්සර මීට අවුරුදු 3 කට 4 කට කලින් නම් ඒක එහෙම වුණේ නෑ. ඒ කාලේ A/l  කරලා results  එහෙමත් ඇවිත් තිබුන කාලේ.. කොහෙ හරි යන් කොහෙ හරි යන් කිය කිය කට්ටියම යන්න තැනක් හොය හොය හිටියේ.. ඒ අස්සේ තමා මම පොතක් තිබුන පුංචි නයගරාව කියලා හදුන්වල තියෙන ගලබොඩ කියලා දිය ඇල්ලක් ගැන දැනගත්තේ.. කොහොම කොහොම හරි internet  එකෙන් පොටෝ එකකුත් හොයාගෙන කට්ටියට පෙන්නුවට පස්සේ කට්ටියම හා කියලා ගමන ලෑස්ති කරගත්තේ.. ඒ 2014  ,  ඒ කාලේ ගලබොඩ කියන එක කවුරුවත්ම එච්චර දන්නේ නැති හැංගුනු වස්තුවක් වගේ වෙලා තිබුණේ.
ප්‍රසාද් , දිලුම්, ඉසුරු,උදාර, චාමර ,දීගල, දිනිදු ,හසාරා ,මහේශිකා අක්කයි තව සමාධියි  අපේ කට්ටියම කොහොම කොහොම හරි ගමන යන දවසේ සෙට් වුනා. කට්ටියම උදේම තියෙන පොඩි මැණිකේ කෝච්චියට නැග්ගේ හරියට ගලබොඩ මේ කෝච්චිය නවත්තනවද කියලා දන්නෙත් නැතුව.😂😂   
අපේ කට්ටිය


එදා එච්චර සෙනග හිටියෙත් නැති නිසා අපිට මාර නිදහසක් තිබුන හින්දා අපි  දිගටම සිංදු කිය කියා ගියෙත්. නාවලපිටිය පහු වුණාට පස්සේ තියෙන දෙවෙනියට හම්බෙන ස්ටේශන් එක.  ඔන්න ඔහොමයි ගූගල් අපිට කියලා තිබ්බේ.. ඉතින් නාවලපිටිය පහුවුණාට පස්සේ හම්බුන්වෙන ඉඟුරුඔය ඉදන්ම අපි විමසිලෙන් බලන් ආවේ ගලබොඩ හම්බෙන්නේ කොයි වෙලේද කිය කිය. ගලබොඩ කෝච්ක්ජිය නවත්තපු ගමන්ම බැහැගත්ත අපි  මුලින්ම කරේ ස්ටේශන් මාස්ටර් හම්බෙලා ගලබොඩට යන පාර අහගත්ත එක..
ගල්බොඩ දුම්රිය ස්ථානය

ගල්බොඩ  දුම්රිය ස්ථානය
ගලබොඩ කියන්නේ මුහුදු මට්ටමේ ඉදන් තරමක් උසකින් තියෙන සාමාන්‍යයෙන් විශාල ස්ටේශන් එකක්.. පැත්තක් තියෙන පරණ බඩු ගබඩාවත් ස්ටේශන් එකේ කොනකට වෙන්න තියෙන පරණ  වතුර  ටැංකියත්  උඩරට ස්ටේශන් වලට ආවේණික තේජස් ගතියත් ස්ටේශන් එකේ තියෙන නෙත්කලු බව වැඩි කරවලා තියෙන්නේ.. ඒ වගේම ඒ තියෙන දේශගුනේටම හරියන්න පිපුණු ලස්සන මල් වලිනුත් ස්ටේශන් එක තවත් ලස්සන කරනවා. ලංකාවේ බරින් වැඩිම වතුර තියෙන්නේ ගලබොඩ කියලත් ඒ වතුර ගන්නම හාරපු ලිදක් ස්ටේශන් එක ගාව තියෙනවා කියලත් ඒ වතුර ඒ කාලේ කෝච්චියෙන් කොළඹට ගෙනිච්චා කියලත් අපිට එහෙදි අහන්න ලැබුනා.


ස්ටේශන් එක ගාවින් ආයෙත් දුම්රිය පාරට බැහැලා නැවත් නාවලපිටිය දිහාවට මීටර් 500 ක් විතර ආ විට දකුණු අත පැත්තට පඩි පෙලක් එක්ක තියෙන අඩි පාරේ උඩට යන්න කියලා තමා අපිට මාර්ගෝපදේශක්ත්වය ලැබිලා තිබුනේ.

රේල් පාර දිගේ යන ගමන්
  ඉතින් එතනින් අපි ගොඩ වෙන්නේ තේ වත්තකට.. මල්ලිලා වගයක් කැලේට හැදිලා තිබුනු ඇඹුල් පේර ගොටු වගයක් ඇරන් පාරට ආවේ අපිව දැකලා .. ඒ ඇඹුල් පේරත් කන ගමන්ම ඒ ගුරු පාර දිගේ අපි ඉස්සරහට යද්දි දැක්ක සුන්දර දසුනක් තමා දුම්රිය මාර්ගයේ අපි පහු කරන් ආපු බිංගෙය  ඉතා ඉහලක ඉදලා බලන්න හම්බෙන එක.
අපිට ටික ටික දිය ඇල්ලේ රාවය ඇහෙන්න ගත්තා, ඒ වෙලාවේ කකුල් වලට එහෙම දැනිලා තිබුන වේදනාව මොහොතකට අමතක වෙලා ගියා. දිය ඇල්ල අපිට පෙනෙන් මානෙට ආවේ ඊට පස්සේ.. වතුරෙන් ස්වයංපෝශිත වෙලා තිබුන දිය ඇල්ල ඇත්තටම හිතට මාර සතුටක් ඇරන් ආවේ.. 

සුන්දරිය

 අහම්බෙන් හරි අපි හරි වාසනාවන්තයි කියලා හිතුනේ ඒ කැලේ මැද්දේ හැංගිලා තිබුනු ලස්සන බලන්න අපිටත් වාසනාවක් ලැබුනු හින්දා. දැන් වගේ පහසුකම් ගලබොඩ නෑ ඒ කාලේ.. සංගිලි පාලමක් තිබුනේ නෑ.. අපි ඔය හරහා එහා පැත්තට ගියේ.. දිය ඇල්ල ගාවට යන්න බෑ ඒ කාලේ.. හැංගිච්ච අඩි පාරවල් වගයක් විතරයි තිබුනේ.. අපි සීතල කියලා බලන්නේ නැතුව  හරි ලස්සනට ගලාගෙන යන ඔයේ බැහැලා නා ගත්තා.. සමහර අයට නම් සීතල වැඩි වෙලා තව පොඩ්ඩෙන් හෙන හෙන කරදර වෙනවා..😂😂😂
කොහොම හරි අමාරුවෙන් දිය ඇල්ල ගාවින් අපි  සමු ගත්තේ අපිට යන්න තිබුන අන්තිම කෝච්චියට කොහොම හරි යාගන්න ඕනේ නිසා. කොහොම හරි මුකුවත් කන්නෙවත් නැතුව දුවගෙන දුවගෙන ඇවිත් අපි කෝච්චියට නැගගත්තා.. ඒ නැගලා කෝච්චියේ බිම ඉදගෙන කට්ටිය කෑම කාපු හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා.. 

කට්ටිය කනවා
 ඔන්න ඔහොම අපි ඒ සුන්දර දවස අවසන් කරා.


ගලබොඩ කියන්නේ එක දවසින්  ගිහින් එන්න පුලුවන් සොදුරුම ස්ථානයක්. යන්න ,හැබැයි අඩි සටහන් විතරක් තියලා එන්න.. මොකද ඒ දේවල් අපි කාටවත් අයිති දේවල් නෙමේ.. 

Saturday, February 10, 2018

යකා වැවෙන් මහ වැවට ..

මිහින්තලෙන් උදේ පාන්දරම බස් එකකට නැග ගත්ත අපි කුකුළත් අතින් අරගෙනම අනුරාධපුරේට ආවා. ආපු ගමන්ම කලේ ලගම තිබ්බ හෝටලයකට රිංගලා බඩකට පුරව ගත්ත එක...
අනුරාධපුරේ ස්ටේශන් එක ගාව ඉදන් ඉද්ද ගැහුවා වගේ පාර යන්නේ ජය ශ්‍රී මහා බෝධිය ළගට . අපි හතර දෙනාත් ශ්‍රී මහා බෝධිය ලගට වෙලා ටික වෙලාවක් හිටියේ අනුරාධපුරේ අපේ එක්කෙනෙක් වෙච්චි දිල්ශාන් එනකම්. බෝධිය ගාව ඉන්නකොට දැනෙන හැගීම  අපිට වෙන තැනක ඉන්නකොට දැනෙන්නේ නෑ.ඒක ඒ තරමටම විශේෂයි.  අපි  පහළ මලුවේ  ප්‍රාකාරයේ ගල් වල වාඩි වෙලා ටික වෙලාවක්  බෝධිය වදින්න ආපු මිනිස්සු දිහා බලන් හිටියා.

                                  
 ශ්‍රී මහා බෝධිය

රුවන්වැලි මහා සෑය
විජයබාහු මාළිගය



 ඊට පස්සේ අපි රුවන්වැලි මහා සෑය වැන්දා .එතන ඉදන් පිලිවෙලට ථූපාරාමේ , විජයබාහු මාලිගාව ,අභයගිරිය , මිරිසවැටිය , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය  අපේ ගමනාන්ත වුණා.


කුට්ටම් පොකුණ
සමාධි බුදු පිළිමය










  ඒ තිබ්බ රස්නෙත් එක්ක වතුර ටිකකින් සැනහෙන්න කියලා අපි අභය වැවට ( බසවක්කුලමට ) බැස්සා .. නාගරීකරණයේත්  මිනිස්සුන්ගේ වැරදිත් නිසා  අනුරාධපුරේ වැව් වලට වෙලා තියෙන වින්නැහිය අපිට වතුර ටික දැක්කම දැනුණා.

අභය වැව ( බසවක්කුලම වැව )
 ඊට පස්සේ අපි අපේ අන්තිම ගමනාන්තය වෙච්චි ජේතවනාරාම දාගැබට ආවා. ඒ වෙද්දි හරි මහන්සියි. දිල්ශාන්ලගේ ගෙදරට ගොඩ වැදිච්චි අපි තේකක් එහෙම බීලා එහෙම්ම නව නගරය බස් නැවතුමට ආවේ කැකිරාවට යන්න බලාගෙන. රෑ 7 ට විතර ඉපලෝගම රණවිරු ගම්මානය ගාවින් බැස්ස අපි  රණවිරු ගම්මානේ ඇතුලේ තිබ්බ දුලාජ්ලගේ නැන්දලාගේ ගෙදරට ගියා..
ඊළග දවසේ උදේම වගේ අපි ඒ ළග තියෙන මහ වැවට ගියා නාන්න. 100 % සහතික වෙන්න පුලුවන්  පිරිසුදුම පිරිසුදු වතුර පිරුණු  නිල් කැටේට වතුර තිබුණු මහ වැව අපි ඉන්නේ අනුරාධපුරේ කියන එක මොහොතකට අමතක කෙරෙව්වා. වැවේ එක කොනක් මායිම් වෙන්නේ වන වදුලු වලට.. 

මහ වැව
 ඈත  මහා ප්‍රාකාරයක් වගේ නැගිටලා ඉන්න රිටිගල  කදු  පේනවා.. ඒ දර්ශනයම ඇති රිටිගල කන්ද නගින්න ආසා හිතෙන්න. ටිකක් හවස් වෙද්දි අපි මායි මධුවන්තයි ගෙවල් වලට එන්න ආවා. දුලාජුයි ඉසුරුයි කැම්පස් එකට පිටත් වුණා.
අනධ්‍යන කාර්‍ය මන්ඩලයට පින් සිද්ධ වෙන්න අපි අත්දැකීම් සමූහයක් අපිට එකතු කරගත්තා.

Saturday, January 13, 2018

යකා වැව ..!!! ඒ කොහෙද ???


ඒ වෙද්දී  ඒ සෙමෙස්ටරේ  මිඩ් එක ළං වෙලා තිබුනේ . ඒත් අපිට අහම්බෙන් වගේ අපේ පරණ පිනක් කඩන් වැටිලා  පොඩි වැඩ වර්ජනයක් ඇවිත් සතියක විතර නිවාඩුවක් සෙට් වුණා. වෙන  එවුන් නම් කරන්නේ ඒ බෝනස් එකෙන්  තමන්ගේ විභාගෙට මොනව හරි සෙතක් කරගන්න එකනේ ඒත් අපේ  ගොඩක් එවුන්ට වාසනාවටද නැත්නම් අවාසනාවටද දන්නේ නෑ එහෙම හිතෙන්නේ නෑ . මම ගෙදර ආවේ අපේ අයගේ හරි තීරණයක් නොතිබ්බ හින්දා .. ඔන්න ඔය අස්සේ තමා  දුලාජ් කිව්වේ උන්ගේ ගමේ යමු කියලා..  ඌ ගම කියලා කියන්නේ  අනුරාධපුරේ කියලා .. පස්සේ අනුරාධපුරේ කොහෙද කියලා ඇහුවම මැදවච්චියෙලු ..😂  ඒත් ඇත්තටම අපි ගියාට පස්සෙයි දැනගත්තේ මැදවච්චියෙනුත්  වෙනම බස් එකක ගිහින්  පයිනුත් කිලෝ මීටර් 3 ක් විතර යන්න ඕනේ ..
මුලින්ම අපි 5ක් සෙට් වුණා යන්න.. හැබැයි යන්න හදද්දී එකෙක් ගෙදර තීන්ත ගාන්න පටන්  ඇරන් ..  ඒ තීන්ත බාස්ව හලලා  ඉසුරුයි මධුවන්තයි දුලාජුයි අපේ ගෙදරට සෙට් වුණා. රෑ 8 ට තියෙන  තලෛ මන්නාරම් කෝච්චියට  නගිද්දී අපි තීරණය කරලා තිබ්බේ යන ගමන් කෙලින්ම තලෛ මන්නාරම් තොටටම යමු කියලා. කෝච්චියේ සෙනග අඩුයි.. හොදට අත පය දිග අරගෙන යන්න පුලුවන්.. මන්නාරම පහු වුණාට පස්සේ අපේ අය දොරවල් ගාව ඉදන් එළිය බලාගෙන ගියත් ලොකු දෙයක් පැහැදිලිව දකින්න තරම් එලියක් තිබ්බේ නෑ .එතකොට  පාන්දර 4 ට වත් නෑ .අපි තලෛ මන්නාරම් තොටින් බහිද්දි පාන්දර 4 යි.

 තලෛ මන්නාරම් තොට  දුම්රිය ස්ථානය  පෙරවරු  4.06

 ඒ වගේ කාර්යක්ශම තැනක්  මං මීට කලින් දැකලා නෑ. කෝච්චිය නවත්තද්දි  ස්ටේශන් එකේ කට්ටිය එලියට බැහැලා බරටම වැඩ.. ඒත් විනාඩි  5 ක් ගියේ නෑ  කට්ටියම  එහාට මෙහාට වෙලා ස්ටේශන් එකේ ලයිටුත් ඕෆ් කරලා ඉවරයි .. අපි ස්ටේශන් එකෙන් එලියට ඇවිත්  ලංකාවේ  සිතියමේ අර උඩ තියෙන පොඩි අතක් වගේ කෑල්ලේ කොන බලන්න අඳුරෙම  නිකම් ඉවෙන් වගේ හොයාගෙන ගියා. අපි පාර ඉවර වෙන තැනට ගියාට පස්සේ ටිකක් එහායින් මුහුද තියෙනවා කියලා දැනුනෙ රැල්ල ගහන සද්දේ ඇහුන හින්දා ( එතකොටත් කලුවරයි.) .අපි ආපහු  එද්දි තමා ක්ලික් වුණේ අපි ඇවිදන් ගිහින් තියෙන්නේ  ආමි කෑම්ප් එකක් ගාවින් කියලා .. ඒ වෙලාවේ තමා අපිට දෙලොව රත් වුණේ ...පස්සේ ඔහොම්මම ඇවිදන් ඇවිත් අපි කඩේක පිළකට වෙලා හිටියේ මන්නරමට යන්න බස් එකක් අල්ල ගන්න. ආපු පළවෙනි  CTB  බස් එකේ අපි මන්නාරමට ආවා.

 මන්නාරමේදි කරපු පළවෙනි දේ තමා කඩේකට ගොඩ වෙලා බඩ පුරවගත්තු එක .මන්නාරම කියන්නේ හෙනම නිදිබර අලස නගරයක් .. අපි  ටිකක් ටවුන් එකෙන් එලියට ආවා තල්අඩි  පාලම බලන්න .

තල් අඩි පාලම



යුද්ධය ඉවර වුණාට පස්සේ හදපු මන්නාරම් කලපුව හරහා වැටිච්චි දිග පාලමක් ඒක..ඊට පස්සේ ඒ ළගම තියෙන ඕලන්ද කොටුව බලන්නත් ගියා.. 


                 ඕලන්ද කොටුව

සම්පූර්ණයෙන්ම වගේ  ගරා වැටිලා තියෙන බලකොටුවේ බිත්ති ටික් එහෙම තාම ඉතුරු වෙලා තියෙනවා. ඉංග්‍රීසි යුගයේ ගොඩක් දේවල් අපිට දකින්න හම්බුනත් ඊටකලින් තිබ්බ ලංදේසී යුගයේ ඒවා එච්චර සුළබ නෑ. ඒ තිබ්බත් තියෙන්නේ මුහුද කිට්ටුව. මන්නාරමේ තියෙන සුවශේෂම  ශාක වර්ගයක් තමා " බයෝ බැබ් " ගස් .ඒවා දකුණු අප්‍රිකාවේ ඉදන් අරාබි වෙලෙන්දෝ ගෙනාවා කියලා තමා කට්ටිය කියන්නේ. අපි  මන්නාරම  ස්ටේශන් එකට එන්න පිටත් වුණා... ලුණු හදන්න හදලා තියෙන ලියදි , තල් අතු හෙවිල්ලපු පොඩි පැල්පත් සහ බූරුවෝ අපි ස්ටේශන් එකට යනකම්ම දකින්න හම්බෙනවා.මන්නාරම දුම්රිය ස්ථානයේ දැන් දකින්න හම්බෙන්නේ යුද්ධයට පස්සේ ගොඩ නගපු අලුත් ගොඩනැගිලි . මාර නිදහස් සහ ලස්සන වටපිටාවක තමා ස්ටේශන් එක තියෙන්නේ.

මන්නාරම දුම්රිය ස්ථානය

කොළඹ යන කෝච්චියට අපි නැග්ගේ මැදවච්චියට එන්න. ඒ එන කිලෝමීටර් 60 කට විතර ස්ටේශන් 10 ක් වත් නෑ.. යෝධ වැව ආසන්නයෙන් කෝච්චිය එන හරිය තමා ගොඩක්ම ලස්සන.. කොහොමහරි අපි මැදවච්චියට ඔන්න මෙන්න කියලා තියෙද්දි කෝච්චිය හදිසියේම නැවැත්තුවා. බලද්දි දුම්රිය ගේට්ටු කරුවොන්ගේ වැඩ වර්ජනයක්.
අපි යකාවැව කියන දුලාජ්ගේ ගමට ආවේ ටිකක් දවල් වෙලා. ඒ ආපු ගමන්ම අපි ගමේ මහ වැවට ගිහින් නෑවා . වැවකට ගියාම බඩ දන සහ දනක් විතර වතුරේ බැහැලා පීනන එක්කෙනෙකුත් අපිත් එක්ක හිටියා 😂😂 .


  ටිකක් හවස්වෙලා අපි මැදවච්චියට ගියේ මහනුවර යාපනය A 9  මාර්ගය ආසන්නයේම පිහිටලා තියෙන ඉසෙන් බැස්සගල රජමහා විහාරය බලන්න යන්න..පොඩි ගිරි කුලක පිහිටලා තියෙන මේ පන්සලට අපි යද්දි ගොම්මන් කලුවර වැටිලා. තරමක් උස් බිමක් හින්දා  අංශක 360 ක දර්ශන පථයක් මෙතන්ට අහුවෙනවා.. බටහිර ක්ශිතිජයේ ලා රතු පාටට  බැහැලා ගිය ඉරේ අවශේෂ  ඒ වෙද්දිත් පෙනුනා. දකුණු පැත්තෙන් අපිට ආලෝකයෙන් ආලෝකමත් වුණු මහා දාගැබ් පෙණුනා. 

   ඊළග දවසේ උදේම අපි මැදවච්චියේ ටවුන් එකට ආවේ පොඩි වැඩකටත් එක්ක.. ඒකට මුලු උදේ වරුවම නගරය පුරා කරක් ගැහුව අපි දවල් වෙද්දි මිහින්තලේට ආවා.මිහින්තලේ කියන්නෙත් අනුරාධපුරේ වගේම දවසක් වුණත් බලන්න දේවල් තියෙන තැනක් .ගොඩක් දෙනෙක් මිහින්තලේ ඇවිත් ආරාධනා ගල විතරක් නැගලා ආපහු යනවා .මිහින්තලේ පූජා භූමිය ඇරඹෙන තැනම වගේ  පුරාණ රෝහලක අවශේෂ තියෙනවා..
 රෝහලේ  නටබුන්



 අපි ඒ තැන ගැන උනන්දු වෙනවා දැක්ක පුරා විද්‍ය එකේ සේවක මහත්මයෙක් අපිට ඒ ගැන කියලා දුන්නේ ඉතාම සවිස්තරාත්මකව. දැන් අත්තිවාරම විතරක් ඉතුරු වෙලා තිබුනට ඉස්සර කොව්චර නම් කාර්‍ය් බහුල වෙලා තියෙන්න ඇත්ද කියලා ඒ වෙලාවෙදි හිතුනා.මිහින්තලේට ඇතුල්වෙන්න තියෙන අරලිය ගස් වලින් හෙවන වෙච්චි ගල්පඩිපෙළ දිව්‍ය ලෝකේට ඇතුල්වෙන දොරටුවක්දෝ කියලත් හිතෙනවා.


 

කණ්ඨක චෛත්‍යයට සමහරු ගියත් ඒ ආසන්නයේ තියෙන ගුහා පද්ධතිය කාගෙවත් ඇස ගැටෙනවා අඩුයි. ඒ ගුහා ආසන්නයට මිහිදු චෛත්‍යය පේනවා ලස්සනට.අපි ඊලගට කලුදිය පොකුණත් බලලා මිහිදු චෛත්‍යයට ගොඩ වුණා.මිහින්තලේ ආරාම සංකීර්ණයේ උස තැනක් වෙන මෙතනට පේන්නේ අමුතුම ලස්සනක්.









         කලුදිය පොකුණ
                                                                                                     කණ්ඨක චෛත්‍යය

අපි සෙනග අඩු වුණ ඇසිල්ලෙම ආරාධනා ගලට නැග ගත්තා. ඒකත් අමුතුම අත්දැකීමක් , කලුවර වැටිලා තියෙද්දී සුළං ප්‍රවාහයකට මැදි වෙලා ඉන්න එක.









දෙවෙනි දවසත් ඒ විදිහට කෙලවර වුණා . අපි සැලසුම් කරලා තිබ්බේ ඊලග දවසේ උදේම අනුරාධපුරේට ගොඩ බහින්න ..




මතුවට..