උදේ පාන්දරම කැම්පස් එකෙන් අපි පිටත් වුණේ මාතලෙන් උදේ 8.00 ට තියෙන ඉලුක්කුඹුර බස් එක අල්ලගන්න ඕනේ හින්දා.. මොකද අපිට ඒ බස් එක මිස් වුණොත් වැලේ වැල් නැතිවෙනවා.. එච්චරටම ඒ පාරේ බස්...
අපි බස් එක ඇවිත් මාතලේ ස්ටේෂන් එක ගාව පාක් කරන්න කලින්ම එතනට ගිහින් හිටපු එක වෙලාව කියලා හිතුනේ ඒ පාන් භාග සයිස් එකේ CTB බස් එක පාක් කරලා විනාඩි 5ක් වත් යන්න කලින් සම්පූර්ණයෙන්ම පිරිච්ච හින්දා.
මාතලේ ටවුන් එකෙන් පිටත් වෙච්චි බස් එක රත්තොට පාරේ ඇවිත් රත්තොට පහු කරලා ටික දුරක් ආවට පස්සේ පාර අයිනේ තියෙන කඩේක නවත්තන්නේ බස් එකේ මිනිස්සුන්ට උණු උණු වඩේ එක්ක උණුම උණු තේකක් බොන්න.. මොකද ඊළගට තමා අමාරුම කාරිය තියෙන්නේ.. බස් එකට බස් ඩ්‍රයිවර්ට හා බස් එකේ යන අපිට...
ගමන අතරමග බස් එක නවත්තන කඩේ |
තේ වතු අස්සෙන් හිමීට හිමීට අමාරුවෙන් කන්ද නැගලා රිවස්ටර්න් කපොල්ලට ළගා වෙන එකයි ඊලග කාරිය... එදා සාමාන්‍ය විදිහට ඉර අව්ව හොදට වැටිලා තිබ්බ නිසා ඒ කපොල්ලට ලගා වෙච්චි ගමන් ඈත් නිම්නය කදු හෙල් තැනිතලා මැද්දෙන් ඈතට පේන දර්ශනය මීදුම් තිරයෙන් වැහිලා තිබ්බෙ නෑ.. රිවර්ස්ටර්න් කපොල්ලට පස්සේ බස් එක පල්ලම් බහින්න ගන්නවා.. ඒ පිටවෙල පතන මැද්දෙන්.. ඈතට විහිදිච්ච තණ පිටිය මැද්දෙන් දගර ගැහි ගැහි ඇදෙන අලු පාට තාර පාරේ රතු පාට භාග CTB බස් එක යනකොට ඇත්තටම මැවෙන්නේ හරි අපූරූ ලස්සනක්..
බස් එක ඇටන්වල ගමට හැරෙන පාර ගාවට එද්දි උදේ 11 ට ළගයි.. අපේ ගමනේ නඩේ ගුරා වෙච්චි ඩිලන්ව ඉස්සර කරගෙන අපි ගමන් පටන් ගත්තේ ඇටන්වල ගමට හැරෙන හන්දියේ ඉදන්.. ටික දුරක් පාරේ ආපු අපිට ඇහුනේ වතුර ගලාගෙන යන හඩ.. වැද්දාපැනි ඇල්ල හදාගෙන සුන්දර දුම්බර කදු පෙතේ ඉදන් අඹන් ගග වෙනකම් පල්ලෙහාට බහින තෙල්ගමු ඔය අපේ ඇස් ඉස්සරහට මතුවුණේ ඇටන්වල ගමට එලඹෙන්න කලින්ම..
වැද්දාපැණි ඇල්ලට පෙර තෙල්ගමු ඔය |
එක පැත්තක දැවැන්ත ප්‍රාකාරයක් වගේ නැගී හිටින මානිගල පර්වතය පාමුල පිහිටලා තියෙන ඇටන්වල ගම අපේ සුන්දර ගමනාන්තය කරා යන ගමනේ අපිට අන්තිමටම හම්බෙන ජනාවාසය. කෙත්වතු වලින් සාර වුණ ගම හා ගම මැද ඇති පන්සලේ දාගැබ අපිට අපි පුංචි කාලේ කතන්දර පොත් වල දැක්ක සුන්දර ගමක මතකය අලුත් කරා.
මානිගල හා ඇටන්වල |
ගමට අවතීර්ණ වෙන්න කලින්ම අපිට හම්බෙන්නේ වල්පොලමුල්ල වැව.. මෙතන කාලෙකට පතනක් විදිහටත් දකින්න පුලුවන්.. කදු වලලු වලින් වටවුණු මෙමෙ සුන්දර බිම්කඩ ඇත්තෙන්ම මද වෙලාවක් නැවතී සිටිය යුතුම ස්ථානයක්.මෙම ගම
වල්පොලමුල්ලේ එකම ගෙය |
මේ වල්පොලමුල්ල ගමේ ඉතුරුවෙලා තිබෙන එකම නිවස සංචාරකයින්ට නවාතැන් ගත හැකි තැනක් විදිහට සුරැකී තියෙනවා. අපි වල්පොලමුල්ල ගමෙන් ආයෙත් ගමන ආරම්භ කරා. මුලින්ම හම්බුනේ ගමේ අතෑරලා දාපු ලියදි ටික.. එතනට ඈත අනන්තය සිසාරා විහිදුනු දුම්බර නකල්ස් වනපෙතේ කදු රාශියක් දකින්න පුලුවන්.. එතනට ඈත අනන්තයේ ගලාහැලෙන සුදු පැහැ ජල ධාරාවන්ද දකින්න පුලුවන්. එයින් සමුගෙන අපේ ගමන් මගට අවතීර්ණ වූ විට අපගේ ඊළග විවේක ස්ථානය උනේ.. නුගතලාව දොළයි.. ඒ දවස වන විට තැන් තැන් වල පමණක් දිය කඩිති ඉතුරුව තිබූ නුගතලාව දොලෙන් සමුගත් අපි අපේ ගමනාන්තය සොයා ආයත් ගමන පටන් ගත්තා.
කලුපහන ඇතුලු කදු පන්තිය; සිරස් මධ්‍ය රේඛාව ඔස්සේ ඈත දූවිලි ඇල්ල පෙනේ |
වැඩිපුර කදුනැගීම් රහිත වූ තැනිතලා කොටසක් හරහා පැමිණි අපිට හදිසියේම වාගේ හමුවූයේ දළ බෑවුමක්. ඒ බෑවුම අවසානයේ අපි වැද්දාහේන කියන මං සලකුණට ඇවිත් තිබුනා. අපි පහුකරන් ආපූ අනිත් වතුර පාරවල් වගේ නැතුව වැද්දාහේන තලාවේ මායිමෙන් ගලාගිය වැද්දාහේන ඔය පිරිසිදු නොකිලිටි සිසිල් ජලයෙන් ස්වයංපෝශිතව ගලාගෙන ගියේ. අපි මුලින්ම කරපු දේ තමා වතුරට පැනලා හොදට නාගත්ත එක.. හිතුවට වඩා වැඩි වෙලාවක් එතන ගත කරන්න උනා අපේ එක්කෙනෙක්ට චුට්ටක් යන්න අමාරු වෙච්චි හින්දා. එතනින් පස්සේ වැඩි කන්දක් නැතුව අපි දිගටම තැනිතලාව වගේ පිහිටපු කදු ගැට දිගේ අපේ ගමන ගියා. අතර මගදී නයි හාමි කෙනෙක් විතරක් අපේ පාලුව මකන්න වගේ පොඩ්ඩක් පෙනේ පුප්පලා අතුරුදහන් වුණා..
වැද්දාහේන ඔය |
එතන හුළං කපොල්ලක් ඒ වගේම එදා හොදටම හුළග තිබුන දවසක්.. ටෙන්ට් එක දිය ඇල්ල ඉස්සරහම තිබුන ගල් තලේඋඩ ගහන්න හදද්දි වෙන හුලගින් මුවා වෙන තැනක ගහමු කියලා මම කිව්වත් අනිත් දෙන්නගෙම කැමැත්තට ඉඩ දීලා ටෙන්ට් එක ඒ ගල උඩ ගහන්න හැදුවත් ටික වෙලාවකට පස්සේ ආපු හුළගින් අමාරුවෙන් ටෙන්ට් එක බේරගත්තට පස්සේ අනිත් දෙන්නත් මගේ යෝජනාවට එකග වුණා..
No comments:
Post a Comment